Views  
අම්මේ.....

අම්මේ..... මම සාමාන්‍ය පෙළ පාස්..... ඉහළින්ම පාස්..... මට දැන් කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුළුවන්. අනුත්තරාගේ අම්මට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්. පවුලේ වැඩිමහල්ම දරුවා වුණේ අනුත්තරා.

අනුත්තරාගේ අම්මා ලලනි වෘත්තියෙන් හෙද නිලධාරිනියක්. තාත්තා ආනන්ද වෘත්තියෙන් රජයේ සේවකයෙක්. අනුත්තරාගේ ගෙදර පරිසරය නිර්මාණය වෙලා තිබුණේ සාමාන්‍ය පවුලක් විදිහට. ලලනිත් ආනන්දත් ගමේ ජීවත් වුණේ. කාටවත් කරදරයක් නැති අහිංසක පවුලක් විදිහටයි. දියණියන් තිදෙනෙකු සහ පිරිමි දරුවෙක් ඉන්න මව්පිය යුවළක් විදිහට ලලනිත් ආනන්දත් ඉතා ගුණයහපත්, ලෙස ගමේ ජීවත් වුණා. මව්පිය යුවළ මේ දරුවෝ හතර දෙනාමත් උස්මහත් කළේ ඒ උතුම් ගතිගුණ වපුරවමින්.

ඒත් මාපියෝ කෙතරම් ගණයහපත් වුණත්, කෙතරම් වැදගත් විදිහට ජීවත් වුණත් නොමගට ගිය දරුවෝ කොච්චර නම් මේ සමාජයේ ඉන්නවද?
කිරි කළයකට පුංචි ගොම බිංදුවක් වැටුණොත් මුළු කිරි කළයම අපතේ දාන්න වෙනවා. ඒත් තමන්ගේ ලෙයින් උපන් දරුවෙක් මොනතරම් වැරදි කළත් ඉවත දාන්න පුළුවන්ද? කළ නොහැකි දෙයක් වුණත් සමහර තීන්දු තීරණ එක්ක මාපියන්ට දරුවන් ඈත් කරන්න සිදු වෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ඒ දරුවාට හෝ ඊට ළාබාල දරුවන්ගේ යහපත උදෙසා වෙන්න පුළුවන්..... ඒ ආකාරයට ඇසුණු තවත් අවනඩුවක් තමයි අනුත්තරාගේ කථාව. අනුත්තරා හැදී වැඩෙන්නේ, ජීවත් වෙන්නේ හොඳ පවුල් පරිසරයක් තුළ. ඇගේ මාපියන් වැදගත් වෘත්තීන්වල නියැළෙන උදවිය. ඒ හැමදේමත් එක්ක අනුත්තරාට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. එහි ප‍්‍රතිඵලයක් විදිහට ඇය අ.පො.ස සාමාන්‍ය පෙළ කඩඉම ඉතාම විශිෂ්ට ලෙස සමත් වෙනවා. මේ සිදුවීම අනුත්තරාගේ ජීවිතයට දැඩි සතුටක් වගේම ඒ සතුට දරා ගන්න බැරි වේදනාවක්. දෛවය වෙනස් කළේ හරිම ඛේදනීය විදිහට....

මිනිස්සු ජීවිතේ යම් යම් සිද්ධීන් එක්ක කඩා වැටෙන්න වැටෙන්න නැඟිටින්න උත්සාහ කරනවා. ඒත් අනුත්තරා වැටුණ වළෙන් ගොඩ එන්න උත්සාහ කළේ නැහැ. එදා ඇය තමන්ගේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ ගැන හිතලවත් මේ වැටුණ වලෙන් ගොඩ එන්න උත්සාහ කළා නම් අද අනුත්තරාගේ කථාව මේ විදිහට නොලියවෙන්න තිබුණා. අද ඇගේ කථාව මේ විදිහට ලියවෙද්දි හෙට තවත් දරුවෙක් වෙන්න පුළුවන්..... අපේ ප‍්‍රාර්ථනය මෙවැනි සිදුවීම් නොඇසෙන්නට.... එහෙත් කිසි විටකත් පත්තර පිටුවකින් සමාජයක් වෙනස් කළ නොහැකියි. අනුත්තරාගේ කථාව මොහොතකට අහන්න ජීවිතේ වැරදෙන්නේ හරි සියුම් තැන්වලින් වගේම ඔබ මා නොසිතන දේවල් තුළින්.....

අනුත්තරාටත් තියෙනවා ජීවිතේ කවුරුත්ම අහපු නැති, කාටවත්ම කියපු නැති අනුවේදනීය කථාවක්. සමහරවිට කෙනෙකුට වැදගත් නැති වෙන්න පුළුවන්. ජීවිතේ කුණු ඇයි මේ විදිහට කියන්නේ කියලා හිතන්න පුළුවන්. එහෙත් මේ සමාජය තුළ මෙවැනි සිදුවීම් සිදු වෙනවාය කියන කාරණය සහ එහි ඛේදනීය තත්ත්වයත් සමඟ ඇගේ කථාවට කන් දුන්නා. මගේ කථාව සමාජය කොයි විදිහට භාර ගනීවිද කියන්න මම දන්නේ නැහැ. මං දෙයක් කියනවා කවදාවත් එක සිදුවීමක් නිසා හැම කෙනෙක්ම මේ වගේ කියලා හිතේ සිතුවිලි පහළ කරගන්න එපා..... ගමෙන් කොළඹ පාසලකට ඇවිල්ලා ඉගෙන ගන්නෙ නැතුව ජීවිතේ කාලකණ්ණි කරගත්තේ මම විසින්මයි. ඒකට කවුරුත් පළි නැහැ.

මම කොළඹ ඉස්කෝලේ ආවේ සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙලා. මම පවුලේ වැඩිමලා. මට බාල නංගිලා දෙන්නයි, මල්ලියි. මට පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න හොඳ හැකියාවක් තිබුණා. අම්මයි අප්පච්චියි ඒ හැමදේටම උදව් කළා. කවරදාවත් අපට දුකක් දැනෙන්න දුන්නෙ නැහැ. විශේෂයෙන් මම මුලින්ම පවුලට එකතු වුණ දරුවා නිසාදෝ මට නංගිලා මල්ලිලට වඩා අම්මයි අප්පච්චියි ගොඩාක් ආදරේ කළා. දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම අම්මයි අප්පච්චියි මට දුන්නා. මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉද්දි පාසලේම අයියාකෙනෙක් එක්ක පේ‍්‍රම සබඳතාවක් තිබුණා. කිහිප සැරයක්ම පාසලේ ගුරුවරු අතට ඒ පේ‍්‍රම සම්බඳතාව හෙළි වුණා. මට ඉගෙන ගන්න දක්‍ෂතාව තිබුණ නිසා පාසලේ ගුරුවරු විශ්වාස කළා මම ඉහළින්ම සාමාන්‍ය පෙළ සමත් වේවි කියලා. ඒ දේවල් එක්ක පේ‍්‍රම සබඳතාව ඉස්කෝලෙදි හෙළි වුණාම මගේ අම්මව පාසැලට ගෙන්නලා ගොඩක් ලැජ්ජා කළා.... ඒත් අම්මා ඒ හැම දුකක්ම හිතේ තදකරගෙන තනියම දරාගත්තා මිසක් අප්පච්චිට කිව්වේ නැහැ. අඩුම තරමේ මට වචනයකින්වත් සැර වැර කළේ නැහැ.

මට හිතාගන්න බැහැ ඇයි අම්මා ඒ තරම් දෙයක් වෙලත් මට නොබැන්නේ, තරවටු නොකළේ කියලා.... එදා අම්මා ඒ හැසිරුණු විදිහ වෙනස් වුණා නම් මම නැවත ආදරයක් ගැන නොසිතන්නත් තිබුණා කියලා මට හිතෙනවා. ඒ දේවල් එක්ක මගේ බය ටික ටික මඟ ඇරෙන්න ගත්තා. කොහොම වුණත් මම සාමාන්‍ය පෙළ ගොඩ දාගත්තා. සාමාන්‍ය පෙළ පාස් වෙලා කොළඹ පාසැලකට එන්න මම ගොඩක් හීන දැකපු කෙනෙක්. ඒ හීනය ඒ විදිහට සැබෑ වුණා. ගමේ තිබුණු පේ‍්‍රම සබඳතා කොළඹ පාසල් ගමනත් එක්ක නතර වුණා. ඒ දේවල් එක්ක මාව කොළඹ පාසලකට යවන්න අම්මා ගොඩක් උනන්දු වුණා.

අලූත් පාසල, අලූත් යාළුවෝ මේ හැමදේම අලූත් වුණේ ටික දවසයි. මම ගොඩක් ආස කළේ නිළියක් වෙන්න. මට විශ්වවිද්‍යාලයට යන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. ගමේ ඉස්කෝලේ ගිය කාලේ පත්තරේ නළු නිළියෝ සොයලා දාන දැන්වීම්වලට මම කථා කරලත් තියෙනවා. ඒත් අම්මයි අප්පච්චියි ඒවට ඉඩ දෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒත් ගමේ පාසලේ අපි නොදැකපු, නොලැබුණු ගොඩක් දේවල් කොළඹ ඉස්කෝලෙන් මට ලැබුණා. බෝඩිං ජීවිතෙත් අලූත් අත්දැකීමක් වුණාට සම වයසේ යාළුවො එක්ක ගෙවුණු ජීවිතේ ලොකු නිදහසක් ලැබුණා. මම ඉඳපු බෝඩිමේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත අක්කලා කිහිපදෙනෙකුත් හිටියා. සමහර දවස්වලට රැට ඒ අක්කලා බෝයි ෆ්‍රෙන්ඞ්ස්ලා ගෙන්න ගන්නවා. ඒ දේවල් එක්ක මටත් හිතුණා අනේ මටත් බෝයි ෆ්‍රෙන්ඞ්කෙනෙක් හිටියා නම් කියලා. බෝඩිමේ අක්කා කෙනෙකුගේ මාර්ගයෙන් තමයි රචිත අයියා මට මුණ ගැහුණේ. එයා විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න අයියා කෙනෙක්. කොළඹ පරිසරය ඇතුළේ ජීවිතේට ලැබුණු නිදහසත් එක්ක මම රචිත අයියගේ ආදරේ සෙව්වේ වෙනස් විදිහකට. මට ආශා වුණා එයා මගේ ළඟින් නිතරම ඉන්නවට. බෝඩිමේ ඇන්ටිට  ඕන මාසේ ගාන විතරයි. එයා අපි ගැන වදයක් වෙන විදිහට සොයලා බැලූවෙ නැහැ. නිදහස  ඕන තරම් තිබුණා. අප්පච්චිට වඩා මාව බලන්න ආවේ අම්මා. ඒත් නිතර ආවේ නැහැ. මගේ පාළුව, කාන්සිය, තනිකම රචිත අයියගේ හමුවීමත් එක්ක වෙනස් වුණා. මම එයාව ගොඩාක් විශ්වාස කළා. එයා කියපු හැමදේම මම පිළිගත්තා.

එයා කථා කරපු  ඕනම තැනකට යන්න මට බයක් දැනුණේ නැහැ. ඒත් මම මේ කරන දේවල් වැරදියි කියලා හිත ඇතුළෙන් නිතරම දෝංකාර දුන්නා. අම්මයි අප්පච්චියි දුක් විඳලා මට එවපු මුදල්වලින් මම කළේ රචිත අයියා එක්ක රවුම් ගහපු එක. ඉගෙන ගන්න තිබුණ ආසාව, ඒ මානසිකත්වය ටිකෙන් ටික මගෙන් ගිලිහෙන්න ගත්තා. ඒ වෙනකොට රචිත අයියත් ඉගෙන ගන්න ගමන් අමතර රැකියාවක් විදිහට හොටෙල් එකක වැඩ කළා. බෝඩිමේ හිටපු අක්කලා කරන කියන දේවල් බෝයි ෆ්‍රෙන්ඞ්ස්ලා එක්ක ෆිල්ම් බලන්න යන්න, ඇඳුම් ගන්න යන්න මේ දේවල් පේනකොට, කියනකොට මටත් ආස හිතුණා. මගේ මනස විකාර දේවල්වලට ගෙනියද්දි මගේ සමහර යාළුවෝ මාව ගොඩ ගන්න ගොඩාක් උත්සාහ කළා. ඒ දවස්වල ඒ හැම කෙනෙක්ම මම දැක්කේ ඊර්ෂ්‍යාකාරයෝ විදිහට. රචිත කැම්පස් කොල්ලෙක්.  ඕන තරම් කෙල්ලො ඇති රචිත හොඳ කෙනෙක් නෙමෙයි කියලා මගේ යාළුවෝ කියද්දි මම රචිත අයියව ගොඩක් විශ්වාස කළා. ඇත්තටම මම ලස්සනට අඳින්න, ලස්සනට ඉන්න, හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න, ලැප් එකක් ගන්න මගේ ඔළුවේ හීන වුණේ  ඕවා. පොත්පත්වලට ලොල් වෙලා හිටපු මම මේ දේවල්වලට නිදහස් ජීවිතයකට ආස කරන්න ගත්තේ බෝඩිමේ හිටපු අක්කලා නිසා. ඒ අක්කලා හැමෝම ඉගෙන ගන්න ගමන් අමතර රැකියාවක් කරපු අය. එයාලා කරන දේවල් දැක්ක මටත් ඒ දේවල්වලට ආස හිතුණා. මට ගෙදරින් සල්ලි එව්වේ අමතර පන්තිවලටයි බෝඩිමටයි විතරයි. මාත් රචිත අයියට කිව්වා මටත් ආසයි අමතර රැුකියාවක් කරන්න කියලා. එයා මට ඒ වෙලාවේ කිව්වා ඔයා තවම ඉස්කෝලේ යනවා, ඒක නිසා ටිකක් භයානකයි වැඬේ කියලා. ඒත් මට බය හිතුණේ නැහැ. බෝඩිමේ අක්කලා උදේට කැම්පස් ගිහින් රැට අමතර රැුකියාවට යනකොට දවසක් මාවත් එක්කගෙන ගිය

සාමාන්‍ය පෙළ සමත් වෙලා මාපියන්ගේ හිතේ බලාපොරොත්තු කන්දක් ගොඩ ගහලා කොළඹ ආපු කිරිල්ලි වෙනස්ම පාරක යැව්වේ ආරක්‍ෂාවට නතර කරපු බෝඩිම. මේ අගාධයට වැටෙන්න පාර කැපෙන්නේ මේ බෝඩිමේ පරිසරෙන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු සමඟ හිටපු එකම පාසල් ශිෂ්‍යාව වුණේ අනුත්තරා. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ මේ වෙනස්ම චර්යාවන් අනුත්තරාට ලොකු වෙනසක් දැනුණා, ඇය ඒ දේවල් අත්හදා බලන්න උත්සාහ ගත්තා.

අනුත්තරා කියන්නේ පාසල් ශිෂ්‍යාවක්. විශ්වවිද්‍යාල සිසුන් එක්ක අනුත්තරාට මේ සමාජය පිළිබඳ අංශු මාත‍්‍රයක්වත් දැනුමක් තිබුණේ නැහැ. ඇයට පේ‍්‍රමවන්තයාගේ මුණගැසීම පවා සිදු කරන්නේ බෝඩිමේ එකට ජීවත්වෙන වැඩිමහල් විශ්වවිද්‍යාල සහෝදරියන්.

කොළඹ කියන්නේ හිතන තරම් නරකාදියක් කියලා කියන්නේ නැහැ. ඒත් අපිට මේ කොළඹ වටපිටාවේ මුණගැසෙන, කථාබහ කරන චරිත ගත්තම විවිධාකාරය. මේ මුණගැසීම්, මේ වටපිටාව සුබවාදි හෝ අසුබවාදිව අපේ ජීවිතවලට බලපාන්න පුළුවන්. පාසල් දරුවෙකුට මේ වටපිටාව එකවරම තේරුම් ගැනීම කළ හැක්කක් නොවෙයි. මේ කාරණාවත් එක්ක ඇයටම එකවර චෝදනා එල්ල කරන්නට බැහැ. දරුවාට සුදුසු පරිසරයක, දරුවාට ආශ‍්‍රයට සිටින අනෙකුත් මිතුරියන්, මිතුරන් පිළිබඳ සොයා බලා නේවාසිකව නතර කිරීමේ වගකීම පැවරෙන්නේ දරුවාගේ දෙමාපියන්ට. අනුත්තරාගේ මව ඒ ආරක්‍ෂාවට වඩා එහාට ගිය දෙයක් හිතුවා. විශ්වවිද්‍යාල සිසුන් කියන්නේ සමාජයේ බුද්ධිමත් පිරිසක්. එවැනි සිසුන් සමඟ ගැටීමෙන් අනුත්තරාගේ අධ්‍යාපනික මට්ටම උසස් වේ යැයි අනුත්තරාගේ මවගේ සිතේ විශ්වාසයක් තිබුණා.

එහෙත් ජීවිතේ අපි නොසිතන කොයිතරම් නම් දේවල්වලට අපට මුහුණ දෙන්න වෙනවද? අනුත්තරා ජීවිතේ ලස්සන දැක්කේ මවා ගත්ත හීන මාලිගා එක්ක. අනුත්තරාගේ බෝඩිමේ නතර වෙලා හිටපු විශ්වවිද්‍යාල සහෝදරියෝ අමතර රැුකියාවක් විදිහට කරලා තියෙන්නේ තමන්ගේ පේ‍්‍රමවන්තයෝ සොයලා දීපු හෝටල්වල ඩාන්ස් කරපු එක.

අක්කලාත් එතන වැඩ කරන නිසා මට බය හිතුණේ නැහැ. එතැනට එන්නේ ඔක්කොම කැම්පස් ළමයි. මට අක්කා කිව්වා තියෙන්නේ ඩාන්ස් කරන්න විතරයි. හොඳට ගෙවනවා කියලා. පළමුවෙනි දවසෙ රුපියල් 2000ක් දුන්නා. ඔය විදිහට සල්ලි ලැබෙද්දි මට සල්ලිවලට ආස හිතුණා. මම පාන්දර 4 වෙනකොට ආයෙම බෝඩිමට ගිහින් ඉස්කෝලෙත් ගියා. රචිත අයියත් මම වැඩ කරපු හෝටලේටම වැඩට ආවා.... පස්සේ පස්සේ බයක් ඇති වුණේම නැහැ. ඔහොම ඉන්නකොට හෝටලේ අයත් අපේ සම්බන්ධෙ දැන ගත්තා. හෝටලේ අය හිතුවෙ මමත් කැම්පස් කියලා. සම්බන්ධෙ දැන ගත්තම රචිත අයියා කිව්වා සම්බන්ධෙ නිසා රචිත අයියට වැඩට එන්න එපා කිව්වා කියලා. එයාට වැඩට එන්න නම් රචිත අයියා කියන දේට කැමති වෙන්න කියලා එයා හොඳටම ඇඬුවා . මම ඒකට කැමති වුණා

අනුත්තරා ඔයා මෙතන අය කියන දේ කරන්න. මට ඒත් ඔයාව එහෙම විකුණන්න බැහැ... මම හිතුවා රචිත මේ කියන්නේ ඇත්තක් කියලා. මට රචිත මගේ ලඟ තියා ගන්න  ඕන නිසා මම රස්සාව කළා. රචිත කළේ රඟපෑමක් කියලා අනුත්තරාට තේරෙනකොට අනුත්තරා නීතියේ රැුහැනට හසුවෙලා ඉවරයි. අනුත්තරා විකිණෙන සෑම අවස්ථාවකම රචිතටත් කොමිස් මුදලක් ලැබුණා. රඛිත අනුත්තරාට බොරු ආදරයක් පෙන්නලා ආදරවන්තියව විකුණලා අතමිට සරුකර ගත්තා.

අනුත්තරාටත් යහමින් මුදල් ලැබුණා. ඒ වගේම ඇගේ ජීවිතේ සියලූ දේ උදුරාගත්ත රචිත ඇයව තවත් ආගාධයකට තල්ලූ කර නොපෙනී ගියා.

අපි හිටපු ක්ලබ් එකට දවසක් පොලිසියෙන් පැන්නා. බොරු කියලා බේරෙන්න උත්සාහ ගත්තා. ඒත් මම බාලවයස්කාරියක් කියලා ඔප්පු වුණා. මට මැවි මැවී පෙනුණේ මගේ රත්තරං අම්මවයි අප්පච්චිවයි. මම ජීවත් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා එදා මට හැඟුණා. ජීවිතය නැති කරගන්න අවස්ථා කිහිපයකදීම මම උත්සහ ගත්තා. නමුත් ඒ සියල්ල අසාර්ථක වුණා. උසාවියේදී මාපියන්ට භාර කරන්න කැමති වුණත් අම්මයි අප්පච්චියි මාව ගෙදර එක්ක යන්න කැමති වුණේ නැහැ. මගේ අප්පච්චි මේ දේවල් මගේ හිතුවක්කාරකම් පුදුම විදිහට දරාගත්ත මනුස්සයෙක්. මගේ අම්මා මනුලොව වැඩ ඉන්න දෙවියෙක්. මම තරහා නැහැ. මම එදා ගෙදර ගියා නම් නංගිලා මල්ලිලා, අම්ම අප්පච්චි විඳින අපහස මට දරාගන්න බැහැ. බිත්ති හතරකට කොටු වුණත් මේ ගෙවන ජීවිතේට මම කැමතියි.

සත්‍ය ගොඩක් කටුකය. නීරසයි. එහෙත් සත්‍ය එයයි.

o